.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, March 20, 2013

රම්බා‍ විහාරය


රම්බා රජමහා  විහාරය.


     ඉපැරණි රම්බා විහාරය හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා ඇත. මාතර-හම්බන්තොට මාර්ගයේ නෝනාගම හන්දියෙන් හැරී ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 10 ක්‌ පසු කළ විටද, ඇඹිලිපිටිය නගරයේ සිට කි.මී. 23 ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ ගමන් කල විටදි මාර්ගය ආසන්නව මෙම පෞරාණික විහාරය දැක බලා ගත හැකිය.
ඓතිහාසික තොරතුරු වලට අනුව ක්‍රි.පු. 2 වන සියවසේ සිට වලවේ ගඟමිටියාවතේ ජනාවාස බිහිවු බවට සාධක තිබේ. මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලදී හමු වි ඇති. පරිදි කළු, රතු, මැටි බදුන් මගින් එය තවදුරටත් තහවුරු වේ. 

               එමෙන්ම දෙවන පැතිස්‌ රජුගේ සොහොයුරු මහනාග රජතුමා බුදු දහම වැළඳ ගැනීමෙන් පසු මානාවුළුපුර රාජධානිය කර ගනිමින් ඓතිහාසික වෙහෙර විහාර ඉදිකළ බවද වංශ කතාවල සඳහන් වේ. එමෙන් මහානාග රජතුමා මෙම විහාරය ලෝකෝත්තර අපේක්‌ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සසුනට පූජා කළ බවද විශ්වාස කෙරේ. එමෙන්ම වළගම්බා රජු දවස අනුරාධපුරයේදී ඇතිවූ දරුනුතම සාගතයේදී සංඝයාවහන්සේලා පැමින ඇත්තේ රම්බා විහාරයට බවද සඳහන්වේ.

            13 වන සියවසේදී රචනා කරන ලද. ලංකාවේ ලියවුණු ප්‍රථම සංදේශ කාව්‍ය වූ පාළි භාෂාවෙන් රචිත මානාවුළු සංදේශය රචනා කරනු ලැබුවේ රම්බා විහාරයේදීය. මානාවුළු සදේශය දැනට විද්‍යාමාන වන පාළි සංදේශ අතුරින් ප්‍රථම පාලි සංදේශ කාව්‍යය වශයෙන් සැලකේ. මෙය කවි 59 කින් සමන්විත වෙයි. මානාවුළු සංදේශය රචනාකරන සමයේ මෙහි සාමණේර භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන පිරිවෙන් මධ්‍යස්ථානයක් පැවති බවද ඉතිහාසයේ සඳහන්වේ. පාලි භාෂාවෙන් රචනා කළ මුගලන් වියරණය පහසු කිරීම සඳහා පද සාධනය කර ඇත. පියදස්සී නම් තෙරුණ් වහන්සේ නමක් විසින් රම්බා විහාරයේ සිට එය රචනා කළබව සඳහන්වේ. එතෙක්‌ මෙතෙක්‌ ඝණ කැලෑවෙන් වැසීගිය මෙම රමණීය රම්බා විහාරයේ නටඹුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්‌කෘතික අරමුදල එක්‌ව ආරම්භ කළ පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණ මගින් අනාවරණය වීමට පටන්ගෙන තිබේ. 

       වලවේ ගඟ මිටියාවතේ අක්කර 200ක ප්‍රදේශය පුරා පිහිටි විහාරාරාම රැසක නටබුන් පුරා විද්‍යා කැණීම් සොයා ගැනීමට හැකිවී තිබේ. පිළිම ගෙවල්, ‍පොහොයගෙය, ආවාස මේවා අතර වෙති. එ දවස මෙහි පබ්බත විහාර සංකීර්ණයක් පැවැති බවටද, හඳුනාගෙන තිබේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ මෙහි ඉදිකිරීම් සිදුකර ඇති බව හඳුනාගෙන ඇත. රම්බා විහාර විහාරාරාම භූමියේ නටබුන් වෙමින් පවත්නා ස්ථූප 2ක් වන අතර එම ස්ථූපයන් වටා චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමකරන ලද ආසන කිහිපයක්ද දැකගත හැකිය. නිදන් ශෛලමය සඳකඩ පහණ, මුරගල්, කොරවක් ගල්, සහ සිරස විනාශ කර දමන ලද බුද්ධ ප්‍රතිමාවක්ද දැක ගතහැකිය.පොළොන්නරු යුගයට අයත් ගඩොලින් තනා නිමකරන ලද අඩි 25ක් පමණ ගැඹුරු ළිද අදත් සුරක්ෂිතව පවතී.

                       සංඛ බහිරව රූප සහිත මුරගල්,  භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන ලද ‍පොකුණු, චන්ද්‍රා කාන්ත පාෂාණයෙන් නිමකළ සඳකඩ පහණ ශෛලමය ආසන ගල්, රැසක් මෙහි දක්නට ඇත. මැටියෙන් නිමකරන ලද අලංකාර කැටයම් රැසක් සහ යුග ගණනාවකට අයත් සෙල්ලිපි රැසක්ද රම්බා විහාර භූමියෙන් හමුවී තිබේ. රුහුණු රට මූලගිරි සඟ පරපුරට අයත් විහාරාරාමයක් වන ඓතිහාසික මානවුළුපුර රාජකීය රම්බා විහාරයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය බෙලිගල්‍ලේ සරණපාල ස්වාමින් වහන්සේය. මූල්ගිරිගල රජමහා විහාරය, අමරතුංග ගම පුරාණ විහාරය සහ රම්බා රජමහා විහාරය යන විහාරාධිපතිව වැඩවෙසෙන පුජ්‍ය බෙලිගල්‍ සරණපාල හිමියන්ගෙන් සිදුවන ශාසනික හා ජාතික සේවාව අති විශාලය.

    ඔබටත් නිවාඩු අවස්ථාවක වන්දනාමාන කරගැනිමට හා ‍අපගේ පෞඩ ඉතිහාසය පිලිබද දැකබලා ආඩම්බර විමටත් හැකිය.


No comments: