.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, April 30, 2013

මෙට්ටේ (කෙටි කතාව )





ඔයා හිටියේ රතු පාට වෙලා පුපුරන්න ළං වෙච්ච බැලුම් බෝලයක් වගේ.  මම වෙන ගෑනියෙක් එක්ක නිදි වැදිලා ආවත් මම හිතන්නෑ ඔයාට ඔච්චර කේන්ති යයි කියලා.  ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනේ නෑනේ.  යන්න ගිහිං තේකක් හදං ගෙන එන්න.  තේ බොන ගමං අපි කතා කරමු මම ගත්තු තීරණේ හරි වැරැද්ද..

ඔයා ගස්සගෙන ගියාට මම දන්නවා ඔයා තේ හදන්නයි ගියේ කියලා. මොකද ඔයා ගිනිපෙට්ටිය හොලවලා කූරු තියෙනවද බලනවා මට කාමරේට ඇහුනා. ගිණි පෙට්ටිය ඇරලා කූරු තියෙනවද බලන්න කලිං හොලවලා බලන එක ගතානුගතික සිරිතක් විදිහට පවත්වගෙන යන්න ඔයා තදින්ම තීරණය කරලා වෙන්ඩ ඇති.  ඔයාට මම කොච්චර කිව්වත් ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්ඩ එපා කියලා.  ඔයා ඔයාගේ පුරුදු වෙනස් කරන්නෙම නෑනේ...   ඔයා වෙනස් වෙන්නෙ නැති හින්දා මම තීරණය කළා වෙනස් වෙන්න.  එහෙමලු පවුල් ජීවිතේ පවත්වගෙන යන නියම ක්‍රමේ.  මම කොහේ හරි පොතක කියෙව්වා ඒ වගේ දෙයක්. දෙන්නගෙං එක්කෙනෙක් අනිකට ඕනේ විදිහට වෙනස් වෙන්න ම ඕනේ.  ඒත් හැමදාම මගේ පුරුදු වෙනස් කරගන්නවා විතරයි.  ඔයා එදා හිටිය ඔයාම තමයි.

ඔයා සීනි බෝතලේ අඩිය හූරනවා ඇහෙනකොට මගෙ පපුව හූරනවා වගෙයි මට දැනුනේ.  දවසම තිත්ත වෙලා ගෙදර ආවම ජීවිතේ පොඩ්ඩක් පැණි රහ කරගන්න අපිට තියෙන්නේ සීනි විතරයි.  අපේ ගෙදර ඒකත් ඉවර වෙන්නයි යන්නේ.

ඔයා දුං දාන තේ කෝප්ප දෙකක් අරගෙන ආවා.  ඇයි මට ලොකු කෝප්පේ  ? ඔයා අද ලොකු කෝප්පෙං බොන්න කෝ.  මං බොන්නං ඔයාගේ කෝප්පෙං.  හරියට අළුත බැඳපු ජෝඩුවක් වගේ.  කෝප්ප මාරු කරගෙනවත් අපි බලමු පොඩි වෙනසක් කරන්න.

බෑ………….

එක අකුරකට කරන්ඩ පුළුවං දේ.  ඔයාගේ එක අකුරකින් මම කියපු වාක්‍ය ගාණක් නිකම්ම නිශ්ප්‍රභා වෙලා ගියානේ.  මම තේ එක මූණට ළං කරගෙන සුවඳ බැලුවා.  හ්හ්ම් පොල්කොළ ගඳක් එන්නේ.  ඔයා ලිපට දාපු පොල්කොළවලින් ආපු දුං ගඳ වෙන්න ඇති. අඩියේ තවමත් දිය නොවෙච්ච සීනි කැට කීපයක් රවුමට රවුමට කැරකෙනවා.  මම උගුරක් බිව්වා. ම්ම්ම්......රසයි.  කොහොමත් ඔයාගේ තේ එක රසයි.  මම ඒකටනේ වහ වැටුනේ.  ඔයාලගේ ගෙදර තිබ්බ බණට ඇවිත්, මතකද ඔයාට? ඔයා ගස්සලා අහක බැලුවට මට හිතාගත්තෑකි ඔයා අහක බලං හිනා වෙනවා කියලා හොරාට.  කාටද අප්පා ඒ කාලේ මතක රහ නැත්තේ.  ඔයා ගෙදර එහෙ මෙහෙ යද්දි ඔයා මගේ දිහා බලලා හිනා වෙනකොට මගේ හෘදය වස්තුව තිබ්බ තැන පුංචි කිතියක් එක්ක විදුලි සැරයක් යනවා දැනිච්ච හැටි.  ඔයාටත් එහෙමම දැනුනා කියලා ඔයා මට කිව්වේ අපි ෆිල්ම්හෝල් එකේ බොක්ස් එකක තුරුල් වෙලා ඉද්දි. අපි දෙන්න වෙන්කරගෙන මැද්දෙං තිබ්බ පුටු ඇන්ද අපි දෙන්නගෙම ඉළ ඇටවලට අකීකරු විදිහට රිද්දුවා මතකද  ?


මම ඔයාට ළං උනේ තුරුල් වෙන්නවත් ඔයාව ඉඹින්ඩවත් නෙමෙයි.ආදරේ පෙන්නන්න.  මොකද වැඩ ඇරිලා කෝච්චියේ බස් එකේ ඇවිල්ලා මගෙ ඇඟම දාඩිය ගඳයි.  මගේ දාඩිය විතරක් නෙමෙයිනේ.  කෝච්චියේ ඉන්න තව කීප දෙනෙක්ගේ දාඩිය මම ගෙදර ගෙනාවා. නොමිලේ හිනාවක්වත් නොදෙන මිනිස්සු ඒ වගේ දෙයක්නං බලෙං ඇඟේ ගහන්නේ.  ඔයා සැකෙං වගේ බලන්ඩ එපා.මම ගෑනුංගේ ඇඟට හේත්තු වෙන්නේ නෑ. මට හේත්තු වෙන්න ගෙදර ගෑනියෙක් ඉද්දි මම මොකටද වෙන ගෑනුංට හේත්තු වෙන්නේ...


 මම එහෙම කිව්වේ ඔයා ඒ විදිහේ උත්තරයකට කැමතියි කියලා දන්න හින්දා.  ඇත්තටම මම ඔය ගෑනුංගේ ඇඟට හේත්තු වෙන්නැත්තේ උං ගාව ගඳ හින්දා.  කෝච්චිවල බස්වල යන්නෙත් අපි වගේම කාළකන්නි මිනිස්සු.  උං ගාව තියෙන්නේත්  අපි ගාවිං එන ඒ දුප්පත් හම්පඩ ගඳමයි.

පොඩ්ඩක් නැගිටින්ඩකෝ. මම මෙට්ටෙ ඇඳට දානකං ඉන්ඩකෝ. මේ පැදුර අකුලලා තියන්ඩ.  දැං මේකේ ඉඳගෙන බලන්ඩකෝ පස්සට දැනෙන සනීපෙ කොහොමද කියලා. මේකේ ලේයර් තුනක් තියෙනවා කියලා තමයි සාප්පුවේ එක්කෙනා කිව්වේ. තව ස්ප්‍රිං දාපු එව්වත් තිබ්බා. පැනලා ඉඳගත්තම විසික්වෙලා යනවා.  ඒවා සෑහෙන්ඩ ගණන්. පැදුරේ හිටපු අපි ඒ වගේ එකකට එක පාර යන එක හොඳ නෑ කියලයි මට හිතුනේ. සැප වැඩි කමට නින්ද ගිහිං පහුවදාට ඇහැරුනේ නැත්තං කියලා මට බය හිතුනා. ඔයාට ආයෙත් හීනි හිනාවක් ගියා. ඔයා කොහොමත් මගේ චූටි විහිළුවලට ආසයිනේ. හොඳ මෙට්ටයක් ගන්ඩ සල්ලි නැති හින්දා ආව හීනමානයයි දුකයි ඔක්කොම චූටි විහිළුවකිං තුනී කරලා දාපු එක තමයි මම කළේ.

හරි අපි විහිළු නවත්තලා ප්‍රශ්නෙ කතා කරමු. වැඩි සෙනෙහෙත් දබරෙට ලු නේ. අපි දැං බැඳලා අවුරුදු පහයි මාස හතරයි දවස් විසි දෙකයි. මුල කාලේ දවසට දෙපාරක් තිබ්බ එක දවසට එක පාරක් වෙලා පස්සේ සතියට දෙපාරක් වෙලා දැං සති දෙක තුනකටම එක පාරක් වෙලා.මොකක්ද කියලා අහන්නේ? මම මේ කියන්නේ රමණය, මෛථූන්‍යය එහෙම නැත්තං කාම සම්භෝගය ගැන. ඒක ගැන ඔයාගේ උනන්දුව වගේම මගේ උනන්දුවත් නැතිවෙලා ගියේ මේ පැදුරේ තියෙන අසමත්කම එහෙම නැත්තං අසාර්ථකත්වය හින්දා. පැදුරට බෑ ඇඳේ ලෑලිවල තියෙන දාර ඇඟේ ඇනෙන එක සාර්ථක විදිහට නවත්තන්ඩ. දෑවැද්දට ඇඳ ගේද්දි ඔයාට තිබ්බා මෙට්ටෙකුත් ගේන්න. ඒත් ඔයාට ටීවී එක ගන්න සල්ලි මදි උනා කියලා දෑවැද්දෙං මෙට්ටෙ කපා හැරපු එක වැරදියි. ඒවට ඉඩ දීපු ඔයාගේ දෙමව්පියොත් වැරදියි. ඔයාගෙ අම්මටයි තාත්තටයි හිතන්න තිබ්බා දුව සුජාත දියණි බලන එකද ලොකු නැත්තං එයාලා ස්වර්ගස්ථ වෙන්න කළිං මුණුබුරෙක්ගේ මූණ බලාගන්න එකද ලොකු කියලා. හරි.... හරි...... රවන්න එපා. ඔයා අපේ අම්මටයි තාත්තටයි බණිද්දි මම අහං ඉන්නවා වගේ ඔයත් ඉන්න පුරුදු වෙන්න.

අනික එයාලට උනන්දුවක් නෑ කියමුකෝ.  අපේ ජාතිය වඳ වෙන එක වළක්ව ගන්න ළමයි හදන්න කියලා ඔය දැං හැමෝම කියන්නේ.  අපි ඒ රටේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙංවත් ළමයෙක් හදන්න බලන්න ඕනේ නේදකෝ ඔයාගේ ඒ කාලේ තිබ්බ ජාතිවත්සල්‍යය, දේශමාමකත්වයඒවා ඔක්කොම වඳ පීදිච්ච කෙහෙල් ගස් වගේ කොළ දදා හැදුනට පලදාවක් නෑ.

ඔව් මං නෑ කියන්නෑ.  ඔය එකකිංවත් ළමයින්ට කන්න බොන්න ලැබෙන්නෑ. අපිටත් හරියට ඉන්න තැනක් නෑ තමයි. ඉස්කෝල ප්‍රශ්න ගැන අපි වරු ගණං කතා කළානෙ පහුගිය ටිකේ.  ඒ ඔක්කොම එකට ගත්තත් ජාතිය රැකගැනීමේ යෝධ කර්තව්‍ය එක්ක බලද්දි ඒවා හිත හිත ඉඳලා බෑ නේද? ඉතිං මම ලයිට් බිල ගෙවන එක පැත්තක දාලා මෙට්ටයක් ගන්ඩ තීරණය කළා.  ලයිට් නැතුව ඉන්ඩ අපි පුරුදු වෙමු.

හෝව්...... හෝව්.... කොහෙද යන්නේ? මම විහිලුවක් කළේ.  මම ඔයාගේ අතිං අල්ලගෙන ආයෙත් ඇඳට ඇදලා ගත්තා.  ඔයා තරහා පෙන්නුවට ඔයාව ඇදලා ගද්දි ලොකු ප්‍රතිරෝධයක් තිබ්බේ නෑ.  මම ඔයාව තුරුළු කර ගත්තා.  මගේ දාඩියත් එක්ක කළවං වෙච්ච අනිකුත් වැඩ කරන ජනතාවගේ දාඩිය ඔයාගේ ඇඟේ ගෑවුනා.  ඔයා දන්නවා මගේ විහිලු කතාවලින් අවශ්‍ය ටික විතරක් නිස්සාරණය කර ගන්න.  ඔයාට ඒක පුරුදු කරන්නම මට ගියා අවුරුදු හතක්.  එතකං ඔයා පුරුදු වෙලා හිටියේ මගේ කතාවලින් අනවශ්‍ය කොටස් පෙරලා අරගෙන ඒවා එක්ක රණ්ඩු වෙන්න.

මම කිව්වේ දැම්ම ළමයෙක් ඕනේ කියන එක නෙමෙයි කියලා ඔයාට තේරුණා කියලා මට දැනුනා.  මම කාලෙකට පස්සේ ටීවී එක දිහා බලා නොයින්න ඔයාව ආදරෙන් ඉම්බා.   අපි දෙන්නම එකට වොෂ් එකක් දාගෙන මෙට්ටේ හොඳ නරක පරීක්ෂා කරලා බලමු.  ඔයා මගේ නළල ඉඹලා නැගිටිනකොට ඔයාගේ අතේ තිබ්බ තේ කෝප්පෙත් මම ඉල්ලගත්තා හෝදන්න හිතාගෙන.  කුස්සිය පැත්තට යන ගමන් ඔයාගේ තේ එක තොල ගාලා බලද්දි තමයි මම දැන ගත්තේ ඔයා ඔයාගේ තේ එකට සීනි චුට්ටයි දාගෙන තිබ්බෙ කියලා....